Friday, January 8, 2016

පොලීසිය හා අයුතු ජනරාශි


ඇඹිලිපිටියේ බිග් ගර්ල් පාටියකට බිග් බෝයිලා කඩාවැදී කල ජංජාලයක් ගැන පුවත් අසන්නට ලැබුනි. පොලීසිය යනු නීතිය රකින ආයතනයකි. පොලිස්කාරයන්ට  පොලු රැගෙන  ගම්වාසීන් පහර දෙන්නට ගියහොත් පොලීසියේ ඕ අයි සී ට සිය නිළධාරීන් රාජකාරි සදහා යැවිය නොහැකි වනු ඇත. පොලිස්කාරයා යනු නීතිය රකින නිළධාරියාය. පොලීසිය නැති සමාජයක් ගැන සිතීමද උගහට වන්නේ එසේය.

එහෙත් පොලිස් නිළ ඇදුම ලාගත් ඕනෑම කෙනෙක් සිතන්නෙ තමන් නීතිය රකින නිළධාරියෙක් ලෙස නොව ලයිසන් චන්ඩියකු ලෙසය. එහෙත් පොලිස් නිළධරයා තුලින් සෙසු පුද්ගලයෙකුට වඩා විනයක් සහ වගකීමක් අපේක්ෂා කළ යුතුය. පොලිස් භටයෙකු නොවන ඕනෑම කෙනෙකුට වඩා විනයක් පොලිස් භටයෙකුගෙන් අපේක්ෂා කිරීම වැරදි නැත.

පොලීසියද මේ  රටේ ජනතාවගේම කොටසකි. පොලීසියට බැදෙන්නට පිටසක්වලින් එන්නේ නැත. එසේ නම් පොලිස් භටයාගේ දුර්ගුන සියල්ල  සාමාන්‍ය ජනතාවගේම දුර්ගුනය.ලංකාවේ මහජනයා සිය සහෝදර ජනතාවගෙන් වෙනස්වන මුල් අවස්ථාවේදීම කරන්නේ ඔවුන් මඩවන එකය. රැකියාවක් ලබාගෙන කාර්යාලගත වන වැසියා තම සේවය පතා එන එකා මඩවයි. මේ හීනමාන ගතිය සියල්ලන් තුලම ඇත. අන්තිමට බලන විට සියල්ලෝම අනෙකා මඩවා ඇත.

පොලිස් රැකියාව යනු අනුන් මැඩවීමට ලබෙන පහසු රැකියාවකි. ලංකාවේ සෑම පොලිස් ස්ථානයකම වධ හිංසා කිරීම සාමාන්‍ය දෙයකි. එසේම පොලිස් නිළධරයා ට තිබෙන නීතිමය බලය නිසා සෙසුජනයා පීඩාවට පත්කිරීමට හැකියාවක් ඇත. එසේ  වී ඇත්තේ අසීමිත නීතිමය රැකවරනය නිසාය. මේ නිසා පොලිස් නිළධාරීන් අතින් අහිංසකයන් පීඩාවට පත්වීම වැළැක්වීම ඉතා අත්‍යාවශ්‍යය.

ඇඹිලිපිටිය සිදුවීමේදී එම සාදය ගැන අසල්වාසීන්ගෙන් පැමිනිලි ලැබී තිබූ බව කියවේ. ඇත්තෙන්ම රාත්‍රියේ අනුන්ට කරදරයක් නොවන ලෙස සාද පැවැත්වීමට අප දන්නේ නැත. අපෙන් අනුන්ට වන හිරිහැරය අප උවමනාවෙන්ම නොසලකා හරිමු. බේබද්දන්ගේ පාටියකින් තමන්ට වන හිරිහැරය ගැන පැමිනිලි කිරීමට මිනිස්සු බිය වෙති.දියුණු රටවල නම් ශබ්දය වැඩි වුවද කෙලින්ම ඇවිත් විරෝධය පලකිරීම සාමාන්‍ය දෙයකි. බොහෝ විට විදේශිකයෝ,  වැදගත් මිනිසුන් ඝෝෂාවට අකමැති වෙති. දියුණු රටවල ශබ්ද දූෂනය ගැන නීති අකුරටම ක්‍රියාත්මකය.

සාද පවත්වන අයට වැඩ වරදින්නේ ඔවුන් සේම අවිනීත පිරිසක් ඔවුන් හමුවට ආ විටය. රාස්සයන් කන්නේ පරාස්සයන්ගෙන්ය. පදමට අරක්කු බී සිටින පිරිසකගෙන් අරක්කු ඉල්ලා ආවේ පොලිස් භටයන්ය. මම නම් වුන දෙය නොදනිමි. අරක්කු ඉල්ලා ආ පොලිස් භටයන් ගුටිකන්නට ඇත. ඔවුන් ආපසු පොලීසියාට ගොස් එන්නේ  සිය සහෝදර වෘත්තිකයන් සමගය. නීතියේ සියලු වාසි අතැතිවය. ඊලග ජවනිකාවෙන් නියත පරාජය ලබන පාටි කාරයන් අම්බානට ගුටි කා රෝහලට පෙර පොලිස් කූඩුවට යති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අදහස් වලින් නිව්ස් බලන ඕනෑම කෙනෙකුට තරු විසිවීම සොබාවිකය. මා ඔහුට තුමා කීවේ ඔහු එම වදනට ගැලපෙන නිසාය. ඔහු කියන්නෙ ඇත්තය.  අවශ්යතාවය පරිදි ඕනෑම දෙයක් පොලීසියේ වාසියට අර්ථකථනය කෙරේ. එසේ කිරීමට නීතිමය බාධාවක් නැත. බොහෝ දෙනෙක් මෙය නොදනිති. ඒ පොලීසියෙ වරද නොවේ. නීති හදා ඇත්තේ එලෙසය. අයුතු ජනරාශිය ,පොලිස් රාජකාරියට බාධාකිරීම ගැන ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක අත් අඩංගුවට පත්විය හැක. නීති හදා ඇත්තේ එහෙමය.අන්තිම වාසිය පීඩකයාටය.

එක්තරා රසවත් සිදුවීමක් සිදුවිය. පොලිස් නිලධරයකු නිවසකට වැදී කාන්තාවක් දූෂනය කරන්නට විය. ඇගේ සැමියා ඊට එරෙහි විය. සැමියාව අත් අඩංගුවට ගෙන උසාවි දමන ලද්දේ පොලීසියේ රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා කරය. බලපුවම කතාවත් ඇත්තය.මෙය අනාවරනය වුනේ උසාවියෙනි.

ඇඹිලිපිටිය සිද්ධියේදී පුළුල් ජනතා විරෝධයක් එල්ල විය. මෙහිදී නීතීඥයන් ගේ සේවය ප්‍රශංසනීයය. පොලීසිය සිය බලය අයුතු ලෙස පාවිච්චි කරන හැම විටම නීතීඥයන් පෙරට පැමින ඇත. නීතීඥ සංගම් නොවන්නට මෙරට ජනතාවට වෙන දේ සිතා  ගතවත් නොහැක. පොලිස් මිනීමැරුම් වලට ලක්වන අය අන්තිමට ඔවුන්ම වැරදිකරුවන් වීමේ ඉතිහාසය වෙනස් වුනේ නීතීඥ මැදිහත්වීම නිසාය. නඩු ඇසීම පොලීසියට භාර දුන්නනම් සේයා ඝාතන සිද්ධියට පාසල් සිසුවා ආයුධ පෙන්වන්නට  ගොස් මැරුම් කා දක්ෂ පොලිස් නිළදාරීන් උසස් වීම්ද ලබා ගෙන ඉවරය.

සීමාව ඉක්මවා වැඩකිරීම හොද සිහිය පලවාහරින මත්වතුර පානය යහපත් නැත. ගෑනු ළමයෙක් වැඩිවිය පත්වීම කූරිය ගහනතුරු අරක්කු බොන්න කාරනයක් නොවේ.එය සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිදුවීමකි.උත්සව පැවැත්වීමේ සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වටිනාකම් ඇත. මේ පාටිවලින් එය සිදුනොවේ.නමුත් මේ අරක්කුපාටිවල අරමුන කොහෙවත් යන කාලකන්නින් ආතල් ගැනීමය.

පොලීසිය සීමාව ඉක්මවා ගිය බව අමුතුවෙන් කිවයුතු නැත.පාටිකාරයන්ද වැරදිය පොලිස්කාරයන්ද වැරදිය

පොලිස් හා හමුදා සේවකයන් කරන වැරදි වලට දඩුවම් ලැබීම ඉතා අවමය. ඔවුන් කරන වැරදිවලින් .00001% කටවත් සාධාරන විමර්ශන හා නඩු විභාග නොපැවැත්වේ. මම සිතන්නේ එය මුලු ලොවටම පොදු තත්වයක් බවයි. නියර මිටි තැන්වලින් ජලය ගලා යාම ඊයේද සිදුවිය අදද සිදුවේ හෙටද සිදුවනු ඇත.


මීලඟ ලිපිය මහින්ද රාජපක්ෂ

No comments:

Post a Comment