Friday, January 22, 2016

ජාති ආගම් වාද වලට රාජකීය විසදුමක්

හිටපු ජනාධිපතිතුමිය මා අප්‍රිය කරන දේශපාලන චරිතයකි. එහෙත් ඇය කල අගනා ප්‍රකාශයක් නිසා ඇය ගැන යමක් කීමට සිතේ. චන්ද්‍රිකා මහත්මිය මෙරට ජනාධිපතිව සිටි යුගයේ එක්තරා අපූරු වැඩකට අත ගැසුවාය. ඒ පාසල් සුද්ද කිරීමය. මෙය නම් හිතන තරම් ලේසි නැත. පාසල්වාදය යනු එක්තරා කුලවාදයකි.  අපේ සමාජය උපතේ සිටම බෙදුම්වාදීය. අප ගේ බෙදීම් සිහිවනවිට සිනහවත් කෝපයත් ලැජ්ජාවත් දුකත් එකවිටම පහල වේ.

විදුහල්පතිවරු හොරාකන බව ප්‍රසිද්ධ රහසකි. චන්ද්‍රිකා යුගයේදී ප්‍රසිද්ධ පාසල්වල හොරු දෙදෙනෙක් ඉවත් කළත් ඔවුන් අත් අඩංගුවට ගත්තත් එම ප්‍රයත්නය නිශ්ඵල වුනේ පාසල් මාෆියාව විධායක ජනපති ක්‍රමයටත් වඩා ලොකු බව පෙන්වමිනි. ගැහැනියක් පිරිමියෙක් කිරීමට අමතරව පාසල්වාදය සමග හැප්පෙන්නටද විධායක ජනපතිවරුන්ට බැරිය.

චන්ද්‍රිකා යුගයේ සම අවස්ථා පනත නම් අපූරු ප්‍රගතිශීලී පනතක්ද ගෙනා නමුත් පසුගාමීහු එය කඩාකප්පල් කලහ.

මම කියන්නෙ මේ බෙදීම් නැතිකරගන්න කියා නොවේ. ඒවා බොහොම ප්‍රවේශමෙන් ආරක්ෂා කරගත යුතුය. මංගල යෝජනා වල ජාතිකුලමල කියන මුත් පාසල ගැන සදහන් නොකිරීම අඩුවක් නිසා එයද සදහන් කරන්නේ නම් සම්පූර්න වේ. ඉදින් මේ  ජානමය ලෙස බෙදුම්වාදී අපට කිසිවෙක් බෙදුම්වාදය අත හරින්න කියා කීම විහිලුවකි. බෙදුම්වාදය තුලම සාධනීය ජයග්‍රහන ලැබීමට අප උත්සාහ කල යුතුය.

කොළඹ රාජකීය විද්‍යාලය බලන්න. එය රටේ තිබෙන උසස්ම පාසල බවට විවාදයක් නැත. ශිෂ්‍යත්වයෙන් ඉහලම ලකුනු සීමාව ඇත්තේද රාජකීය පාසලටයි. මෙයට රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ කියාද කියති. එම පාසලට වෙනම අනන්‍යතාවයක් ඇත. මේ අනන්‍යතාවය තුල සමානාත්මතාවය සහ සාධාරනත්වය තිබීම අප මතු කරන කාරනයයි. එනම් මෙහි ජාති කුල ආගම් භේද නැතිව සැවෝම රාජකීයයෝය. එහි අභ්‍යන්තරයේ පන්ති භේද තිබිය හැකි වුවද රාජකීය සම්ප්‍රදාය තුලින් වෙනත් පසුගාමී භේද නිශේධනය කෙරේ.

රාජකීය උත්සව වලට ටයිකෝට් දමාගෙන පැමිනිය යුතු අතර සරම බැනියම ,වේට්ටිය ,මුස්ලිම් ගවුම ඇදගෙන කිසිවෙකු එන්නේ නැත. විවිධ ගංගාවන් ගලා ඇවිත් එක් මුහුදකට වැටෙන සේ විවිධ සමාජ කන්ඩායම්වලින් එන අය රාජකීය කෝව තුල එකම උප සංස්කෘතියක ජීවත් වේ. කුඩා කල සිටම විවිධ ජාතීන් ආගමිකයන් එකට ඇසුරු කරන නිසා මෙම පාසලේ ආදි සිසුන් භේද අවුලුවමින් සමාජය වියවුල් කරනු ඇතැයිද සිතිය නොහැක.

චන්ද්‍රිකා මැතිණිය කීවේද ජීවිතේටම දෙමල ළමයෙක් මුස්ලිම් ළමයෙක් දැක නැති සිසුන් සමහර පාසල්වල සිටින බවයි.යුද්ධ ඇතිවීම ගැන පුදුමයක් නැත. යුද්ධ කරන්නේත් සාමය කරන්නේත් ලොකු ඉස්කෝලවල ආදි සිසුන් බැවිනි. අනෙක් අය ඉන්නෙ ඉදිරි ආරක්ෂක වලල්ලේ සෙබලුන් සේ මැරුම් කන්නටය. ඉතින් ප්‍රභූ පාසල් වල ගෝත්‍රික සොභාවය දුරු කර ජනවර්ග ප්‍රශ්න නියපොත්තෙන්ම කඩා දැමිය හැකියි නේද.

වෙනත් අය ඇසුරු කිරීමට අවස්ථාවක් නැතිවීම කනගාටුවකි. හොදම විසදුම 25% ක් වත් අන්‍ය සිසුන් ඇතුලත් කරගැනීමට කෝටාවක් ලබා දීමයි. විවිධ ජාතීන් හා ආගමිකයන් 25% ක් ඇතුලුකරගත්තා කියා පාසල් අනන්‍යතාවයට හානි වෙන්නේ නැත. එයට හොදම උදාහරනය රාජකීය විදුහලයි.

සෙසූ ප්‍රභූ පාසල් රාජකීය විද්‍යාලය ආදර්ශයට ගෙන අඩුම තරමින් වෙනත් ජාති ආගම්වලට අයත් සිසුන් 25% ක් වත් සිය පාසල්වලට ඇතුලත්  කරගෙන තම පාසල්වල ඇති ගෝත්‍රික සොභාවය නැතිකරගන්නේනම් යෙහෙකි.

කලබල නොවන්න. මා කියන්නෙ සිංහල බෞද්ධ පාසල් ගැන පමනක් නොවේ. හින්දු මුස්ලිම් හා කතෝලික පාසල්වලද මෙම 25% ප්‍රතිශතය අනුගමනය කල යුතුය.

4 comments:

  1. වර්ගවාදයට විරුද්ධ නම් ජනවාර්ගික පදනමින් කෝටා නිකුත් කිරීමටත් විරුද්ධ විය යුතුයි. උදාහරණයක් කියනවා නම් බුදු හාමුදුරුවෝ කුල භේදයට විරුද්ධ වුනත් අග සව්වන් හැටියට පත්කලේ බමුණන් දෙදෙනෙක්. චන්ද්‍රිකාගේ ක්‍රමයට කරනවනම් කල යුත්තේ අගසව් තනතුරු 4ක් ඇතිකර කුල 4රෙන් 4දෙනෙක් පත්කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලනයෙ හැම එකක්ම නියෝජනය වෙන්න ඕන. ජාති කුල ආගම් පාසල් ගම් දනව් ඔය හැම එකකටම කෝටා තියෙන්න ඕන..ලංකාවෙ පාර්ලිමේන්තුව හත්මාළුව වගෙ වෙන්න ඕන

      Delete
  2. //මංගල යෝජනා වල ජාතිකුලමල කියන මුත් පාසල ගැන සදහන් නොකිරීම අඩුවක් නිසා එයද සදහන් කරන්නේ නම් සම්පූර්න වේ.// සන්ඩේ ඔබ්සර්වර් වගේ අරන් බලන්න පාසැල දාපුවත් සෑහෙන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සිංහල කතාකරන ජනතාවට වඩා ඉංග්‍රීසි කතා කරන ජනතාව ඉදිරියෙන් නෙ ඉන්නෙ. මට ඒක අළුත් දෙයක්. ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් බයියො ටොයියො වෙනව කියන එක බොරු. මේ කතාව එයට හොද නිදසුනක්.

      Delete