Saturday, January 9, 2016

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ දේශපාලන සංකේතයක් බවට පත් වූ දේශපාලකයෙකි. ඊට ප්‍රධාන හේතුව යුධ ජයග්‍රහනය ම නොවේ. දිගුකලක සිට වමට බර දේශීයත්වය අගය කරන ජාතිකවාදී නැඹුරුවකි. ඒ සදහා නායකත්වය සැපයුවේ මහින්දය. මහින්ද යනු කපටි දේශපාලනඥයෙකි. කපටිකම දේශපාලනයට අවශ්‍ය ය. ඇත්තෙන්ම ඔය දේශපාලනඥයන් කිසිම කෙනෙක් ඔවුන් ව්‍යාජ ලෙස පෙනී සිටින ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් සැබෑ ජීවිතයක් ඇත. ඔවුහු දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ ගැලරිය වෙනුවෙනි.

මහින්ද යුධ ජයග්‍රහනයේ එකම හිමිකරුවාද නොවේ. 2005 වන විට ජාත්‍යාන්තර පසුබිම ත්‍රස්තවාදයට එරෙහි ව පැවතිනි. ඉන්දියාව එල් ටී ටී ඊ යේ විනාශය ප්‍රාර්ථනා කළේය. ඉන්දියන් සහාය නොවන්නට ලංකාවට යුද්දය ජයගත නොහැක. ලෝකෙයේ රටවල් විශාල ප්‍රමානයක සහාය ලැබුනේ රජයටය. බාල දෙමල චිත්‍රපටයක මෙන් හදිසියේම වීරයා ලෙස මහින්ද ඉස්මතුවී යුද්ධය ජයගත්තා නොවේ. ජේ ආර්ට ,ප්‍රේමදාසට ,චන්ද්‍රිකාට නොතිබූ වාසිසහගත පරිසරයක් මහින්දට විය.එහෙත් බටහිර රටවලට අවශ්‍ය වුනේ එල් ටී ටී ඊය නිරායුධ කිරීම මිස ඔවුන් විනාශ කිරීම නොවේ.

එල් ටී ටී ඊය විනාශ කෙරුනි. එය මෙරට ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව විය. නමුත් මහින්දට වෙනම ගමනක් තිබිනි. එනම් රටේ සියළු කටයුතු ඔහුගේ පවුල කේන්ද්‍රකරගෙන ඉදිරියට ගෙන යාමයි. එය අතීත රාජාන්ඩු මුලාදර්ශයට සමාන විය. ආර්ථිකයේ කිසිම බටහිර විරෝධයක් නොවුනත් එවැන්නක් සමාජයට පෙන්වන ලදී.

මහින්ද යන පුද්ගලයා මත පදනම් වූ දේශපාලනයක් ක්‍රියාත්මක වූ අතර සෙසු සියල්ල අධෛර්‍ය කෙරුනි. මෙම තත්වය අනාගත බලාපොරොත්තු තිබූ සෙසු දේශපාලනඥයන්ගේද කලකිරීමට හේතුවිය. මහින්දගෙන් පසු නාමල්ට යන තේමාවට වැඩි දෙනා අකමැති වූහ.

මහින්දගේ සංවර්ධන කටයුතුද විවේචනයට ලක් විය. එම සංවර්ධනය ගිනි ඔලියට ණය ගෙන ඔහුගේ ගම සංවර්ධනය කිරීමක් බවට චෝදනා එල්ල විය. කිසිදු දීර්ඝ කාලීන ඉලක්කයක් නැතිව අගනගරයකට අවශ්‍ය සියල්ල ගමේ ඉදිකිරීම ගැන විවේචන විය. සියල්ල තම ඡන්ද බල ප්‍රදේශයේ ඉදිකිරීම ජාතික දේශපාලකයෙකුගේ හැසිරීම විය යුතු නැත. නැව් නො එන වරායන් ,ගුවන් යානා  නො එන එයා පෝට් ගැන කතා කෙරුනේ මේ පසුබිමේය.සම්මන්ත්‍රන ශාලා,ක්‍රීඩාංගන විශාල මුදලක් වැයකර ඉදිකෙරුනේ අගනුවරකට අවශ්‍ය උපාංග ලෙසය. කොලඹ තියන සියල්ල හම්බන්තොට ඉදිකිරීම සංවර්ධනය නොවේ. කොළඹ සංවර්ධනය ගමට ගෙන ඒම යනු කොළඹ තිබෙන සියල්ල ගම්වල ඉදිකිරීම නොවේ. එය විකාරයකි. හම්බන්තොට අගනුවර බවට පත්කිරීමේ අවශ්‍යතාවයක් මහින්දට තිබුනා විය හැක.

මහින්ද රජ නාඩගමට ඇන්දීම නම් විමල් හා ඩලස් ගේ මෝඩ ක්‍රියාවක් විය හැක. මට මතක් වන්නේ රජුගේ සිරුරේ වැසූ මැස්සා ට කෙටූ මෝඩ වදුරාය.රජු පසුව අප්පච්චි බවට පරිවර්තනය විය.එයද මහින්ද නටවන වදුරන්ගේ ක්‍රියාවක් විය හැක.

මෙම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප වී ඇත. එසේම මහින්ද යනු අද යල්පැනගිය දේශපාලනඥයෙකි. ඔහු යලිත් කරලියට ගෙන ඒමට බැරිය. බලයෙන් අන්ධව කල ක්‍රියාවන් එලියට අදින නිසා ඔවුන්ට ඩීල් දේශපාලනයකට යානටද සිදුවේ.එය 1994 යුගයේ මහින්දගේ වීදි වීදි සටන්වලට වඩා වෙනස්ය.

කෙසේ නමුත් හවුල් ආන්ඩුවට විපක්ෂයක රික්තය පවතී. එය අනාගතයට බාරය. අනාවැකි කීමට කල් වැඩිය.එහෙත් එම අඩුව පිරවෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගෙනි. ඒකාබද්ධ විපක්ෂය තුලින් නව නායකත්වයන් බිහිවනු ඇත.

වර්තමාන ආණ්ඩුව නිදහසින් පසු බිහිවූ ශක්තිමත්ම ආන්ඩුව වී තිබේ. විමල්ට හා ගම්මන්පිලට ආන්ඩු විරෝධය බොහෝ කලක් ඇදගෙන යාමට හැකියයි නොසිතේ. ශ්‍රීලනිපයේ බලය මෛත්‍රීපාල පිල සතුය. එසේම මන්ත්‍රීවරු වැඩි දෙනෙක් බරමෛත්‍රී පිලටය. නමුත් බිම් මට්ටමේ ජනතාව වඩා කැමති මහින්දටය. මෙම ප්‍රමානය දිනෙන් දින අඩුවන බව සත්‍යයකි.එහෙත් ශක්තිමත් නායකත්වයක් තිබුනොත් ආන්ඩු විරෝධය පනගැන්විය හැක.

මහින්ද පිළිබිඹුකල දේශපාලන ප්‍රතිරූපය දක්ෂ ලෙස විනාශ කලේ ඔහුට හොර ඒකාධිපති දූෂිත හංවඩුව ගසමිනි. නීතිය ක්‍රියාත්මක වීම නිදහස ආදිය මහින්ද යුගයට සාපේක්ෂව යහපත් මට්ටමක පවතී. ආන්ඩුව දුර්වල ජාතික ගැටළුවේදීය. එය මහින්දට වාසි සහගත කෙලිබිමකි. එහි ආන්ඩුව ක්‍රීඩාකරන ආකාරය අනුව ඉදිරිය තීරනය වේ. 

ඒකාබද්ධ විපක්ශයට මහින්ද හැර වෙනත් ශක්තිමත් නායකයෙකු අවශ්‍යය. එසේ නොමැතිනම් බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයා ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රී පිලට යනු ඇත. මහින්ද මහමැතිවරනයේදී තනිව තරග කලානම් ඔහුට අද ඔහුගේම කියා බලයක් ඇත. මෙවරද ඔහු මෝඩ තීරනයක් ගතහොත් ඔහු නවතින්නේ ඉතිහාසයේ කුනු බක්කියේය.

මහින්ද විරෝධීන් මහින්ද පරාජය කලේ ඔහුගේ සෑම තුරුම්පුවකටම තුරුම්පු නිර්මානය කර ගැනීමෙනි. දෙමල සංධානය පසෙකින් තබා හෙල උරුමය දිනා ඝැනීමෙන් ඔවුහු මහින්දගේ බලයේ ප්‍රධානම මර්මස්ථනාය ආක්‍රමනය කලේය. ඇත්තෙන්ම හෙල උරුමයේ වැදගත්කම ඇත්තේ ඔවුන්ගේ ඡන්ද පදනමේ නොව පාවෙන ඡන්දවලට කල හැකි බලපෑමේය.

එසේම මහින්දගේ සුමනදාස වෙනුවට පොදු විපක්ෂයෙන් නිර්මානය කළ අන්ධ මහතාද කලේ දැවැන්ත කාර්යභාරයකි.එමගින් කේන්දර වලින් කරන මානසික බලපෑම එවලට පොදු විපක්ෂය ජයගති.

වර්තමානයේ විමල් හා ගම්මන්පිල සිල්ලරට ඇද ගෙන යන විපක්ෂය යන්නේ ප්‍රපාතයකටය. ඒ අලුත් අශ්වයෙක් නැති නිසාය. මහින්දගේ ආශීර්වාදය සහිත අලුත් අශ්වයෙක් සොයාගතහොත් ක්ෂය වන බලය අඩුකරගත හැක. ආන්ඩුව ජන අප්‍රසාදයට පත්වීමේ වාසියද ලබා ගත නොහැකිව ඇත්තේ නායකයෙක් නැති අඩුව නිසාය.

යළිත් මහින්ද ගෙන ඒම නම් සාර්ථක නැත. මහින්දගේ අනාගතය  ආශීර්වාද කරන්නෙකු ලෙස මිස නායකයෙකු ලෙස නොවේ. එසේම වාමාංශික දේශ හිතෛශී නායකත්වයකට ලංකා දේශපාලනයේ රික්තයක් ඇත.ඔහු මිස්ටර්ක්ලීන් කෙනෙක් නම් ආන්ඩුවට ප්‍රබල අභියෝගයකි. එහෙත් එවැන්නෙක් පේන තෙක් මානයක නැත.

6 comments:

  1. මහින්ද වෙනුවට හැබැයි ඉක්මනින්ම හොඳ ජාතික නායකයෙක් හොයා ගන්න වෙනවා. එහෙම නොවුනොත් සිරිසේනයි රනිලුයි රට ගෙනියන දිහාව බලනකොට වෙන විනාසේ හිතාගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මහින්දව ආයෙ මාකට් කරන්න බෑ වගෙයි. ඔහුගෙන් පසු ඉන්න නාමල් ලට මිනිස්සු කැමතිම නෑ. කොහොමටත් ඉදිරියෙදි නායක හිගයක් එනව

      Delete
    2. හරිස්චන්ද්‍ර විජේතුංගගෙන් පසු සිංහලයාට විශ්වාසයක් තැබිය හැකි එකම නායකයා ගෝඨාභය පමණි.

      Delete
  2. වාමාංශය තමන්ගේ දේශපාලන දැක්ම වෙනස් කරනන්න ඕනේ කියල හිතෙන්නේ නැත්ද ?

    ReplyDelete
    Replies
    1. පරන වම ගැනනම් කතා කරල වැඩක් නෑනෙ. කුඩා වාමාංශික කන්ඩායම් ජනතාව දිනාගැනීමේ වැඩපිලිවෙලකට යන බවක් පේන්නෙ නෑ. වම ලෙස පිලිගැනීමකට ලක්වී ඇත්තේ ජවිපෙ වැනි සුළු ධනේශ්වර කන්ඩායම් නේද
      ලංකාවෙ සැබෑ වමේ ව්‍යාපාරයක් කිසිමදාක තිබුනෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද

      Delete
    2. එතකොටත් ඒක වමම ද ?

      Delete